
දිස්ත්‍රික්ක 4කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය අද (06) පෙරවරු 9.00 සිට හෙට (07) පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කළේය.
මට්ටම 2 (අවදානයෙන් සිටින්න) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, දොලුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ සහ උඩුදුම්බර ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රදේශද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රදේශද මෙම මට්ටම යටතේ ඇතුළත් වේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර ප්‍රදේශ සඳහාද මට්ටම 2 අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර ඇත.
ඊට අමතරව මට්ටම 1 (විමසිලිමත් වන්න) යටතේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට ප්‍රදේශ සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අඛණ්ඩ වර්ෂාව පවතින ප්‍රදේශවල නායයාම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස NBRO ජනතාවට දැනුම් දෙයි. පස් කඳුවල ඉරිතැලීම්, අසාමාන්‍ය ලෙස ජලය මතුවීම, ගස් නැඹුරු වීම හෝ පස් කඩාවැටෙන ශබ්ද ඇසෙන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් වන ලෙසද එම සංවිධානය ඉල්ලා සිටී.



