අද විශේෂ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.

එමෙන්ම, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button