
2030 වනවිට ඩිජිටල් ආර්ථිකය 12% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය මේ වනවිට පවතින 3% මට්ටමේ සිට 2030 වනවිට 12% දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසයි.
කොළඹ ICTA ආයතනයේ ඊයේ (27) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කරමින් වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක රාජ්‍ය සේවාවක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවයි.
ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් බවද ඔහු පැහැදිලි කළේය.
මෙම වැඩසටහන “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපාන ආයතනික නියමු ජාලය” පිහිටුවීමේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමද එහිදී සිදු කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ 3/2026 චක්‍රලේඛයට අනුව “Champions Network” සඳහා සුදුසු රාජ්‍ය නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමද මේ යටතේ සිදු කෙරේ.
තවද, ඉදිරි වසර තුන තුළ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු බැංකු පද්ධතියක් මෙන් සම්පූර්ණයෙන්ම ජාලගත ඩිජිටල් ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවා පූර්ණ ඩිජිටල්කරණය මඟින් පුරවැසියන්ට එකම තොරතුරු නැවත නැවත ලබාදීමට අවශ්‍ය නොවන පද්ධතියක් ගොඩනගා ගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් මහතාද මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka, KPMG ආයතනය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරයි.



