ප්‍රධාන පුවත්

2030 අපනයන ආදායම අ.ඩො බිලියන 36 යි

2030 අපනයන ආදායම අ.ඩො බිලියන 36 ඉක්මවා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ඉලක්කයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, රජයේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වන අයුරින් වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ නිපුණ රැකියා අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කළේය.

මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනය කිරීමත්, ඉදිරි උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමත් ප්‍රධාන අරමුණ වූ බව සඳහන් වේ.

වාණිජමය වශයෙන් වැදගත් වෙළෙඳපොළවල් 23ක සේවය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලවල වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේදී ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත් බවයි.

වෙළෙඳපොළ සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මැනිය හැකි ප්‍රතිඵල ලබා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, 2030 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා ගැනීම ඇතුළු ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ඉලක්ක සමඟ සිය කාර්යයන් අනුගත කරන ලෙස ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වාණිජ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button