ප්‍රධාන පුවත්

2027 සංවර්ධන සැලසුම් සකස් කිරීමට අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විශේෂ වැඩමුළුවක්

2027 සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගියදා පවත්වා තිබේ.

 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වී ඇති අතර, එහිදී සංවර්ධන ව්‍යාපෘති සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

 

2027 වසර සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් රාජ්‍ය ආයතනවල වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් හා ප්‍රසම්පාදන සැලසුම් නිසි පරිදි සකස් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන්ම රාජ්‍ය මූල්‍ය සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

 

ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය ප්‍රතිපාදන, රාජ්‍ය ආදායම් හා වියදම්, රාජ්‍ය ණය කළමනාකරණය මෙන්ම 2027 අයවැය සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳවද වැඩමුළුවේදී සාකච්ඡා කර තිබේ.

 

රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සීමිත රාජ්‍ය මූල්‍ය සම්පත් නිසි ප්‍රමුඛතා අනුව භාවිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර ඇත.

 

තවද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ හඳුන්වා දී ඇති මූල්‍ය විනය සහ වගවීමේ රාමුවට අනුකූලව රාජ්‍ය ආයතන සිය වියදම් සහ සංවර්ධන කටයුතු සැලසුම් කළ යුතු බවද සාකච්ඡාවට ලක්ව තිබේ.

 

වැඩමුළුවට සහභාගී වූ නිලධාරීන් පිළිගැනීම සහ වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) එච්.එම්.කේ.ජේ.බී. ගුණරත්න මහතා විසින් සිදුකර ඇත.

 

සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීමේ මූලික වැදගත්කම පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කරුණු පැහැදිලි කර තිබේ.

 

2027 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ වැදගත්කමක් සහිත නව ව්‍යාපෘති සහ ඒවා කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ප්‍රියංකර ජයරත්න මහතා විසින් සිදුකර ඇත.

 

එමෙන්ම 2027 වසරේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අපේක්ෂිත ඉලක්ක අනුව ළඟා කර ගැනීම සඳහා යථාර්ථවාදී ක්‍රියාකාරී සැලසුම් සකස් කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා සහ ප්‍රතිපත්ති) එන්.එස්. වනසිංහ මහතා නිලධාරීන් දැනුවත් කර තිබේ.

 

වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම, ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ කාලරාමු නිවැරදිව හඳුනා ගැනීම මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් අවම කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

 

වෙන්කරන ලද ප්‍රතිපාදන නියමිත කාලය තුළ ඵලදායීව භාවිත කිරීම සහ සැලසුම් සකස් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය ඇගයීම දක්වා සෑම අදියරකදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හා වගවීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබේ.

 

රාජ්‍ය ආයතනවල සැලසුම්කරණ ක්‍රියාවලිය ප්‍රතිඵල කේන්ද්‍රීය කරමින් රාජ්‍ය සම්පත් නාස්තිය අවම කිරීමත්, ජනතාවට සෘජු ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ ආයතනික හැකියාවන් ඉහළ නැංවීමත් මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button