
එළවළු මිල ඉහළට: මාළු මිරිස් කිලෝවක් රු. 1,000ට ආසන්න වෙයි
එළවළු මිල ඉහළ යෑම හේතුවෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක මිල ගණන් මේ වනවිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
එළවළු මිල ඉහළට යෑමෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයන් දැඩි අසීරුතාවක
වෙළඳපොළ මිල ගණන් අනුව මාළු මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1,000ත් අතර මිලකට අලෙවි වන අතර වම්බටු කිලෝවක් රුපියල් 500ක් සහ අමු මිරිස් කිලෝවක් රුපියල් 800ක් ලෙස මිල නියම වී ඇත. බෝංචි කිලෝවක් රුපියල් 450ක් වන අතර කැරට් කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර මිලකට අලෙවි වේ.
එමෙන්ම වට්ටක්කා සහ අළු කෙසෙල් කිලෝවක් රුපියල් 400 බැගින්ද, ගෝවා කිලෝවක් රුපියල් 600ත් 650ත් අතර මිලකටද අලෙවි වන බව සඳහන් වේ. පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 350ක් වන අතර තක්කාලි සහ කරවිල කිලෝවක් රුපියල් 800 බැගින් අලෙවි වේ. පතෝල කිලෝවක් රුපියල් 600ක් සහ නුවරඑළිය අර්තාපල් කිලෝවක් රුපියල් 450ක් ලෙසද මිල ගණන් වාර්තා වේ.
මේ අතර දෙහි කිලෝවක මිල රුපියල් 2,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රතු ලූනු කිලෝවක් රුපියල් 800ක සිල්ලර මිලකට අලෙවි වන බව වෙළඳුන් පවසති.
පසුගිය දිනවල දිවයිනේ ප්රදේශ රැසකට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට හානි සිදුවීම මෙම මිල ඉහළ යෑමට ප්රධාන හේතුව වී තිබේ. ඒ හේතුවෙන් වෙළඳපොළ ඉල්ලුමට ප්රමාණවත් සැපයුමක් ලබාදීමට ගොවීන්ට නොහැකි වී ඇති බව වෙළඳුන් පෙන්වා දෙති.
මිල ඉහළ යෑමත් සමඟ පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් තම ව්යාපාරික කටයුතුවලටද බලපෑම් එල්ල වී ඇති බවත් හැටන් ප්රදේශයේ එළවළු වෙළඳුන් සඳහන් කරති.



