ප්‍රධාන පුවත්

2025දී ශ්‍රී ලංකා උද්භිද උද්‍යානයන්ගේ ආදායම රු. බිලියන 1.394ක් – නරඹන්නන් මිලියන 2 ඉක්මවයි

2025 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යානයන්ගෙන් ලැබූ සමස්ත ආදායම රුපියල් බිලියන 1.394ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එය 2024 වසරට සාපේක්ෂව සියයට 7ක වර්ධනයක් ලෙසද වාර්තා වේ.

දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය මෙම ආදායම් වැඩිවීමට ප්‍රධාන හේතුවක් වූ බවයි. 2025 වසරේ “දිට්වා” සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් තිබුණද, උද්‍යානයන්හි විද්‍යාත්මක සහ සංචාරක ආකර්ෂණය හේතුවෙන් ආදායම බිලියන සීමාව ඉක්මවා ගොස් තිබේ.

දෙපාර්තමේන්තුව යටතේ පවතින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය සහ ගනේවත්ත වන ඖෂධ උද්‍යානය වෙත 2025 වසර තුළ සංචාරකයින් මිලියන 2කට වැඩි පිරිසක් පැමිණ ඇති බව සඳහන් වේ.

ඒ අතරින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පමණක් නරඹන්නන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට හැකිව තිබේ.

ආදායම් වර්ධනයට ඇතුල්වීමේ ගාස්තු, ශාක අලෙවිය, ස්ථානීය පහසුකම් සහ අනෙකුත් අනුබද්ධ සේවාවන්ගෙන් ලැබූ ආදායම් ද සෘජුව බලපා ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button