ප්‍රධාන පුවත්

ජල සම්පාදන මණ්ඩල අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත ඇප මත මුදාහැරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

මෙම නඩුව අසංග එස් බෝදරගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, විමර්ශන ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඇප ලබාදීම පිළිබඳව විරෝධතාවක් තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේ, කොමිසමේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ එයට විරෝධයක් නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පැනවීය. නඩුව යළි මැයි 29 දින කැඳවීමටද නියමිතය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී, ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබා ගැනීමෙන් රජයට රුපියල් 12,750,000ක පාඩුවක් සිදුකර දූෂණය කිරීමට කුමන්ත්‍රණය කළ බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button