
2025දී ජල භීතිකා මරණ 14ක් – 2030 වනවිට ශ්‍රී ලංකාවේ මරණ බිංදුවට ගෙන යාමේ ඉලක්කය
2025 වසර තුළ ශ්‍රී ලංකාවේ ජල භීතිකා (Rabies) රෝගය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ප්‍රකාශ කළේය.
අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, 2030 වසර වනවිට මෙරටින් ජල භීතිකා මරණ සම්පූර්ණයෙන්ම තුරන් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි.
එය ගෝලීය මට්ටමින්ද ක්‍රියාත්මක වන ඉලක්කයක් වන අතර, World Health Organization (WHO) විසින් ද 2030 වනවිට ජල භීතිකා මරණ අවසන් කිරීම අරමුණු කර ඇත.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ජල භීතිකා රෝගය ක්ෂීරපායි සතුන්ගෙන් වෛරසයක් මඟින් මිනිසුන්ට බෝවන අතර, රෝග ලක්ෂණ පෙනී යාමෙන් පසු එය බොහෝ විට සියයට සියයක් මාරාන්තික වන බවයි. ලෝක පුරාම මෙම රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ඉතා සීමිත බව ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම තරුණ පිරිස් සහ කුඩා ළමුන් අතර මරණ වාර්තා වී ඇති බවත්, එහෙත් සතෙකු විසින් සපා කෑමක් හෝ සීරීමක් සිදුවූ වහාම නිසි ප්‍රතිකාර ලබාගන්නේ නම් ජල භීතිකා රෝගය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බවත් ඔහු අවධාරණය කළේය.
සතෙකු විසින් සපා කෑමක් සිදුවූ විට, තුවාලය ගලා යන ජලයෙන් හොඳින් සේදීම, සබන් භාවිතයෙන් පිරිසිදු කිරීම සහ වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.
“ගිය අවුරුද්දේ මානව මරණ ඇති වෙලා තියෙන්නේ 14යි. මේක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ අඩුවෙන්ම මානව මරණ ඇති වෙලා තියෙන්නේ. නමුත් මේක අපි බිංදුව දක්වා අඩු කරගන්න ඕනි. ඉදිරි අවුරුදු 3 තුළදී. මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ පුත්තලම, කුරුණැගල හා රත්නපුර වැනි දිස්ත්‍රික්කවල“
තව දුරටත් අදහස් දක්වමින් එතුමන් සඳහන් කළේ සුනඛයන් හා බළලුන් සපා කෑම, සීරීම්, සතුන්ගේ කේටය රැදී තිබීම නිසා මෙන්ම සමමත ඇති තුවාල සතුන් ලෙව කෑම හේතුවෙන් මෙම රෝගය හට ගන්නා බවද සතෙක් සපා කෑමෙන් පසු ගලා යන ජලයෙන් මිනිත්තු 15ක් සේදීම සහ සර්ජිකල් යොදා සේදීම, නිසි පරිදි එන්නත් ලබා ගැනීම සිදුකළ යුතු බව ය.



