උණුසුම් පුවත්

දැදුරු ඔය ගංවතුර අවදානම ඉහළට – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

දැදුරු ඔය ගංවතුර අවදානම ඉහළ යා හැකි බැවින් ඔය ආශ්‍රිත පහත්බිම්වල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

 

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මීට පෙර රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර කලාඔයට තත්පරයට ඝන අඩි 7,884ක ජල ප්‍රමාණයක් මුදාහැරීමේ පුවතක් ද වාර්තා විය. මේ අතර, දැදුරු ඔය ආශ්‍රිතව ද ගංවතුර අවදානමක් මතුව තිබේ.

 

ජලාශයෙන් තත්පරයට ඝන අඩි 16,500ක ජලය මුදාහැරේ

 

මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්පරයකට ඝන අඩි 16,500ක පමණ ජල ප්‍රමාණයක් දැදුරු ඔයට මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී මුදාහරින ජල ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට සිදුවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

ඒ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරු ඔය නිම්නයේ පහළ ප්‍රදේශවලට සහ ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතී.

 

එබැවින් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.

 

එමෙන්ම ඇතිවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button