
ළමා අපයෝජනවල නව ප්රවණතා ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් අනතුරු ඇඟවීම
ළමා අපයෝජන ඩිජිටල් යුගයත් සමඟ නව ස්වරූපයන්ට වෙනස්වෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කර ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අධිකාරියට ලැබුණු පැමිණිලි නිරීක්ෂණය කිරීමේදී මේ සම්බන්ධයෙන් විවිධ නව ප්රවණතා හඳුනාගෙන ඇති බවයි.
විශේෂයෙන් ළමුන් සමාජ මාධ්‍ය භාවිතයේදී හිංසනයට ලක්වීම, පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබා නොදීම, මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන්ගේ දික්කසාද වීම වැනි කරුණු ළමා ආරක්ෂාවට බලපාන බව ඇය පෙන්වා දී තිබේ.
එමෙන්ම ළමුන් විසින්ම අනෙකුත් ළමුන්ගේ ගරුත්වයට හානිවන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඔවුන් අපයෝජන ක්‍රියාවන්ට පෙළඹවීම වැනි තත්ත්වයන් ද වැඩිවෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
තවද, ළමුන් වැඩි කාලයක් ඩිජිටල් තිර භාවිතයට යොමුවීම හේතුවෙන් ඔවුන්ගේ ළමා කාලය අහිමිවීම සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය අඩුවීම ද වර්තමානයේ මතුව ඇති අභියෝග ලෙස හඳුනාගෙන තිබේ.
කායික, ලිංගික සහ මානසික අපයෝජන මෙන්ම නොසලකා හැරීම් ඇතුළු සියලු ආකාරයේ අපයෝජනවලින් ළමුන් ආරක්ෂා කිරීම සහ එවැනි සිදුවීම්වලට ගොදුරු වූ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්රමුඛ වගකීමක් බව සභාපතිවරිය පවසයි.
ළමා අපයෝජන සම්බන්ධ කිසිදු සිදුවීමක් සමථයකට පත් කිරීමට කටයුතු නොකරන ලෙසත්, එවැනි සිදුවීම් පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියි.
ළමුන් ආරක්ෂා කිරීමේ පළමු වගකීම පවුලෙන් ආරම්භ වන බැවින්, සියලු දෙනා එක්ව ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බව ද ඇය අවධාරණය කරයි.



