සෞඛ්‍යය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු ගැන GMOA අනතුරු අඟවයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු 2015 වසරෙන් පසුව දිවයින පුරා සෞඛ්‍ය සේවයට අදාළව පූර්ණ ලෙස සංශෝධනය කර නොතිබීම බරපතළ ගැටලුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් රටේ සමස්ත සෞඛ්‍ය සේවයම දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, ඉදිරියේදී එය බිඳවැටීමේ අවදානමක් පවතින බවද එම සංගමය අනතුරු අඟවා තිබේ.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයේ අවශ්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව නිසි මට්ටමින් පවත්වා ගැනීම සඳහා වසර පහකට වරක් අනුමත කාර්ය මණ්ඩල සැලැස්ම සංශෝධනය කළ යුතු බව GMOA පෙන්වා දෙයි. එහෙත් දිවයිනම ආවරණය වන පරිදි අවසන් වරට එවැනි පූර්ණ සංශෝධනයක් සිදුකර ඇත්තේ 2015 වසරේදී බව සඳහන් කරයි.

මේ අතර ගතවූ වසර කිහිපය තුළ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම ශල්‍යකර්ම, විවිධ වෛද්‍ය ක්‍රියාපටිපාටි සහ පරීක්ෂණවල ප්‍රමාණයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

එමෙන්ම 2015 වසරෙන් පසුව නව රෝහල් සහ සෞඛ්‍ය ඒකක රැසක් ස්ථාපිත කර ඇති අතර, ප්‍රතිකාර ක්‍රමවල සංකීර්ණත්වය සහ නව තාක්ෂණික ක්‍රම භාවිතයද වැඩි වී ඇති බව GMOA සඳහන් කරයි. කෙසේ වෙතත් එම සේවා පුළුල් කිරීම් සිදුකර ඇත්තේ පැරණි කාර්ය මණ්ඩල සීමාවන් පදනම් කරගෙන බව එම සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමේදී ගැටලු මතුව ඇති බවත්, පසුගිය ආර්ථික අර්බුදය පැවති සමයේ වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යාම නිසා සෞඛ්‍ය සේවයට වෛද්‍යවරුන් දහස් ගණනක් අහිමි වූ බවත් GMOA පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබුණද, මෙතෙක් ඒ සඳහා ප්‍රමාණවත් සහ සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද සංගමය කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතාව තීරණය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදී තිබුණද, ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බව GMOA පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සති දෙකකට පමණ පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ (RTI) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ඉල්ලා තිබුණද, මේ දක්වා ඒ සඳහා සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවද එම සංගමය සඳහන් කරයි.

වත්මන් රජය යටතේ සෞඛ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීම සහ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් පුහුණු කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය බැවින්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු කඩිනමින් සංශෝධනය කර අවශ්‍ය බඳවා ගැනීම් සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව GMOA වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button