
සෙස් බදු වෙනුවට නව තීරුබදු ක්‍රමයක්
සෙස් බදු ක්‍රමය අදියරෙන් අදියර ඉවත් කරමින් ආනයනික භාණ්ඩ සඳහා නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන්නේ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමත්, නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල පිරිවැය අඩු කිරීමට අවස්ථාව සැලසීමත් බවයි.
දැනට ආනයනික භාණ්ඩ මත සෙස් බදු පනවා තිබුණද, දේශීය කර්මාන්ත රැසක්ම ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් එම බදු හේතුවෙන් නිෂ්පාදන පිරිවැයටද බලපෑම් ඇතිවන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම
ඒ අනුව පළමු අදියරේදී අතරමැදි ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු ක්‍රමයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත. සංවේදී භාණ්ඩ සඳහාද සහන කාලයක් ලබාදෙමින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙමගින් දේශීය කර්මාන්තවලට හදිසි බලපෑමක් ඇති නොවන ආකාරයෙන් නිෂ්පාදකයන් නව ක්‍රමයට ක්‍රමිකව අනුගත කිරීමටත්, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වැයවන මුදල අඩු කර නිෂ්පාදන පිරිවැය පහත දැමීමටත් රජය අපේක්ෂා කරයි.
නව තීරුබදු කාණ්ඩ හතරක්
සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමඟ නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එම නව ක්‍රමය යටතේ 0%, 10%, 20% සහ 30% ලෙස තීරුබදු කාණ්ඩ හතරක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන භාණ්ඩ සඳහා 0% බදු අනුපාතයක් ලබාදීමට වැඩි ඉඩකඩක් පවතින අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා නිමි භාණ්ඩ සහ තෝරාගත් භාණ්ඩ මත උපරිම වශයෙන් 30%ක තීරුබද්දක් පැනවීමට යෝජනා කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නව ක්‍රමය හරහා දේශීය කර්මාන්තවල තරගකාරීත්වය සහ නිෂ්පාදන හැකියාව ආරක්ෂා කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය:
“2007 වර්ෂයේ සිට දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ඒවායේ නිෂ්පාදන පිරිවැයද ඒ හා සමානවම ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අදියර වශයෙන් මුළින්ම අතරමැදි අමුද්‍රව්‍ය සඳහා ක්‍රමයෙන් සෙස් බදු ඉවත් කිරීමත්, කර්මාන්තවලදී සංවේදී භාණ්ඩ සඳහා සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්තවලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රවේශයක් ලබා දීමටද මෙමගින් අපේක්ෂා කරනවා. එමෙන්ම සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ 0%, 10%, 20,%, 30%, නව තීරුබදු හඳුන්වාදෙනවා. ඒ අනුව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීමේ වැඩි ඉඩකඩක් තමයි පවතින්නේ. අනෙකුත් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිමි භාණ්ඩ වශයෙන් එන භාණ්ඩවලට සහ තෝරාගත් භාණ්ඩවලට 30% කියන උපරිමය අය කිරීම තුළින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා.”



