
ප්රධාන පුවත්
සොල්දරයෙන් වැටුණු පියාට යටවී 3න් හැවිරිදි දරුවා මරුට
සොල්දරයේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් තුන් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්රදේශයෙන් වන අතර, මියගොස් ඇත්තේ එම ප්රදේශයේ පදිංචි කුඩා දරුවෙකි.
මූලික විමර්ශනවලට අනුව, නිවසේ සොල්දරයේ තිබූ ජල බටයක් ලබාගැනීම සඳහා පියා සොල්දරයට නැග තිබේ. එම අවස්ථාවේදී පියාගේ පිටුපසින් පැමිණි දරුවා පහළ සිට බලාගෙන සිට ඇති බව අනාවරණය වී ඇත.
අනතුරුව සොල්දරයේ ලෑල්ලක් හදිසියේ ගැලවී යාමත් සමඟ පියා පහළට ඇද වැටී දරුවා මතට වැටී ඇති බව සඳහන්ය.
තුවාල ලැබූ පියා සහ දරුවා වහාම ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබුණද, දරුවා රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරින් තුවාල ලැබූ පියා මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



