විදෙස්

දිල්ලියේ උෂ්ණත්වය 45°C දක්වා ඉහළට

ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ උතුරු ප්‍රාන්ත කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යා හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මැයි 22 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂිත මෙම දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයටද සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

රාජස්ථාන්, උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා, චන්දිගාර්, දිල්ලි සහ චතිස්ගාර් යන ප්‍රාන්තවල මෙම උණුසුම් තරංග තත්ත්වය ව්‍යාප්ත විය හැකි බව පුරෝකථනය කර ඇත. එසේම කොන්කන් සහ ගෝවා ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටද මෙහි බලපෑම දැනිය හැකි බව සඳහන් වේ.

සාමාන්‍යයෙන් තැනිතලා ප්‍රදේශයක උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා, සාමාන්‍ය අගයට වඩා අංශක 4.5 සිට 6.4 දක්වා ඉහළ යන විට එය උණුසුම් තරංග තත්ත්වයක් ලෙස සැලකේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 හෝ ඊට වැඩි අගයකට ළඟා වුවහොත් එය වඩාත් අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වයි.

ඉදිරි දින තුන තුළ දිල්ලියේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 2 සිට 3 දක්වා ඉහළ යා හැකි බවද වාර්තා වේ. පැයට කිලෝමීටර් 20 සිට 40 දක්වා වේගයෙන් සුළං හමනු ඇතැයි අපේක්ෂා කළද, ඉන් අනතුරුව පවතින පැහැදිලි අහස හේතුවෙන් උෂ්ණත්වය තවදුරටත් වැඩි විය හැකිය.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශවලට මෙන්ම කේරළය සහ තමිල්නාඩුව වැනි දකුණු ප්‍රාන්තවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button