ප්‍රධාන පුවත්

දකුණු කොරියානු අධ්‍යාපන හා රැකියා අවස්ථා – නව ගිවිසුමකට අත්සන් තැබේ

දකුණු කොරියානු අධ්‍යාපන හා රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාදීම අරමුණු කරගනිමින් දෙරට අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබේ.

දකුණු කොරියානු අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා සිසුන් තෝරාගැනීමේ වැඩපිළිවෙළක්

වෘත්තීය පුහුණු සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සකස් කර ඇති මෙම ගිවිසුම්වලට හෙට (02) දකුණු කොරියාවේදී අත්සන් තැබීමට නියමිත බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

කම්කරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය, දකුණු කොරියාවේ ග්යොංසංනම්-ඩෝ පළාත, සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ චැංෂින් විශ්වවිද්‍යාලය මෙම ගිවිසුම් සඳහා පාර්ශ්වකරුවන් ලෙස එක්ව සිටිති.

අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුගිය 30 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා සහ වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.

මෙම වැඩසටහන යටතේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් තෝරාගනු ලබන ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවනු ඇත.

අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු එම සිසුන්ට ග්යොංසංනම්-ඩෝ පළාතේ කර්මාන්ත ආයතනවල රැකියා ලබාගැනීමට ද අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම අදාළ පළාතේ දීර්ඝකාලීනව පදිංචිවීමේ අවස්ථාව ද මෙම වැඩසටහන හරහා ලබාදීමට සැලසුම් කර තිබේ.

වෘත්තීය පුහුණු සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්වලට අදාළ මෙම ගිවිසුම් සඳහා මීට පෙර කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button