ප්‍රධාන පුවත්

මූල්‍ය ප්‍රතිපත්ති ජනතා අකමැත්ත නොතකා ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති

මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත මත පමණක් තීරණ නොගෙන, රටේ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් අත්‍යවශ්‍ය තීරණ ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ජනතා කැමැත්තට පමණක් සීමා විය නොහැකියි

කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකට සහභාගී වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් විට ජනප්‍රිය නොවන දැඩි ප්‍රතිපත්ති තීරණ ගැනීමට සිදුවන බවයි.

ආර්ථිකය සුරක්ෂිත කිරීමේ අරමුණින් මහ බැංකුව මේ වනවිටත් විවිධ ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කර ඇති බවත්, ඉදිරියේදීද රටේ අවශ්‍යතාව අනුව එවැනි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මහජන කැමැත්තට පමණක් සීමා වී අත්‍යවශ්‍ය ආර්ථික තීරණ ගැනීමෙන් වැළකී සිටියහොත් එහි අවසන් ප්‍රතිඵලය සමස්ත රටටම බරපතළ අහිතකර බලපෑමක් ඇති කිරීම විය හැකි බවද ඔහු අවධාරණය කළේය.

රටේ ආර්ථික තත්ත්වය සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් බදු අනුපාත ඉහළ නැංවීමට ඇතැම් අවස්ථාවල සිදුවන නමුත්, බදු වැඩි කිරීම සම්බන්ධයෙන් බහුතර ජනතාව තුළ කැමැත්තක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි තීරණ හේතුවෙන් ජනතා විරෝධතා මතුවී සමාජය තුළ යම් අස්ථාවර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, බදු අඩු කිරීමෙන් හෝ ඉහළ නැංවීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම් පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම රජයේ වගකීමක් බව ඔහු පැවසීය.

නිසි සන්නිවේදනයක් සහ ජනතාව දැනුවත් කිරීමක් තුළින් මෙවැනි ආර්ථික ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම බදු සංශෝධන සිදුකිරීමේදී ඒ සඳහා සුදුසුම අවස්ථාව තෝරා ගැනීමේ වැදගත්කමද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. බදු ඉහළ නංවන සෑම අවස්ථාවකදීම ඊට විරෝධය දක්වන පිරිසක් සිටින බව රජය අවබෝධ කරගත යුතු බවද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දැඩි දේශපාලන සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වූයේ ජනප්‍රිය නොවන නමුත් රටට අත්‍යවශ්‍ය තීරණ නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button