ප්‍රධාන පුවත්

කොබෙයිගනේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොබෙයිගනේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු හෙට (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොබෙයිගනේ පොලිස් භාරයේ සිටි සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව නීතිමය පියවර

අදාළ පොලිස් සැරයන්වරයා අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

සිද්ධියට අදාළ මරණයට පත්වූ පුද්ගලයා කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අයෙකි. ඔහු පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී තිබුණි.

ඉන් අනතුරුව දින දෙකක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රියේ නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය කටයුතු කළේය.

ඒ අනුව, මේ වනවිට මෙම මරණය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ රාජකාරි කළ නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මේ අතර, මියගිය පුද්ගලයා අල්ලා පොලිසියට භාරදුන් ප්‍රදේශවාසීන් පස්දෙනෙකුද කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද මේ දක්වා නිදහස් කර නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් ගම්වාසීන්ගේ ඥාතීන් පොලිසිය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරමින් පවසන්නේ සැකකරු අල්ලා ගසක බැඳ තැබීමෙන් පැයක් ගතවීමටත් පෙර පොලිසිය දැනුවත් කර ඔහු කිසිදු අනතුරකින් තොරව භාරදුන් බවයි.

එමෙන්ම, සැකකරු පොලිසියට භාරදෙන අවස්ථාවේදී ඔහුට කිසියම් පහරදීමක් හේතුවෙන් තුවාල සිදුව තිබුණේ නම්, මරණයට පත්වීමට පෙර ඔහු රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බවද ඥාතීහු පෙන්වා දෙති.

මියගිය පුද්ගලයා සොරකම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසියට දැනුම්දී තිබූ බවත්, එම අවස්ථාවලදී ඔහු අල්ලා පොලිසියට භාරදෙන ලෙස පොලිසිය තමන්ට උපදෙස් ලබාදී තිබූ බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button