
සුරාබදු ආදායම් වැඩි කරගැනීම සඳහා ඩිජිටල්කරණයට වෘත්තීය සමිති එකඟවෙයි
ශ්‍රී ලංකාව තුල සුරාබදු ආදායම් රැස්කිරීම වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ හා නව්‍යකරණ වැඩපිළිවෙළට සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පසුගිය 03 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී
ඒ සම්බන්ධයෙන් වූ එකඟතාවය ප්‍රකාශයට පත්ව ඇති බව එම අංශය වැඩිදුරටත් පවසයි.
මෙම සාකච්ඡාව සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයින් මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිට ඇත.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ, සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම බව සඳහන් වේ.
ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ ක්‍රියාවලිය, නව ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කටයුතු පිළිබඳව මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කර ඇති අතර, ඩිජිටල්කරණය හරහා කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, මානව සම්පත් සංවර්ධනය කිරීම සහ නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.
මෙම අවස්ථාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සුරාබදු දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයින් ද සහභාගී වී සිටියහ.



