ප්‍රධාන පුවත්

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහට ඇප – අල්ලස් නඩුව කල් දමයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව, එක් එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පැනවීමට අධිකරණය තීරණය කර ඇත.

මෙම නඩුව යළි සැප්තැම්බර් 08 වන දින කැඳවීමට නියම කර ඇති අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට ද අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සිද්ධියට අදාළව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවට අමතරව සේවකයින් 06 දෙනෙකු බඳවාගෙන, ඔවුන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම මගින් සංස්ථාවට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනා මත අල්ලස් කොමිසම විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button