අධ්‍යාපන

ශිෂ්‍යත්ව විභාගය හෙට – සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

හෙට (09) පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිසුන් සහ දෙමාපියන් වෙත විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත අතර, විභාගය සඳහා අයදුම්කරුවන් 294,089 දෙනෙකු ලියාපදිංචි වී සිටී.

එම පිරිස අතරින් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතය.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

එමෙන්ම විභාගය අවසන් වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද ඇය පැවසුවාය.

මේ අතර, දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන තුළට ඇතුළුවීමට අවසර නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දරුවන්ට මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණදීමට හැකිවන පරිදි, විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසද උපදෙස් ලබාදී ඇත.

මෙවර විභාගයේදී ප්‍රථමයෙන් දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදීමට නියමිත අතර, එය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැවැත්වේ.

ඉන් අනතුරුව කෙටි විවේකයක් ලබාදී, පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතය.

ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගැනීමෙන් පසු, තම විභාග අංකය නිවැරදිව සඳහන් කර පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය සියලුම සිසුන්ට දැනුම් දී තිබේ.

තවද, ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට රැගෙන නොයන ලෙසද සිසුන්ට විශේෂයෙන් උපදෙස් ලබාදී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button