ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ තවත් ඉරාන නෞකාවක්? – රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍යයි සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ, කොළඹ වරාය ආසන්න ප්‍රදේශයේ තවත් ඉරාන නෞකාවක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර එම නෞකාවට පහර දීම සම්බන්ධයෙන්ද රජය නිල වශයෙන් පැහැදිලි කිරීමක් ලබාදිය යුතු බවයි.

එම සිද්ධියෙන් පසු ඉරාන නෞකාවේ සිටි පිරිසගේ ජීවිත බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔහු ප්‍රශංසාව පළ කළේය. එහෙත්, රාජතාන්ත්‍රික මට්ටමින් එම සිද්ධිය පිළිබඳ රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් නොමැති බවද ඔහු පැවසීය.

මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකාවේ ස්වෛරීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බරපතළ තත්ත්වයක් බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එසේම, රටට ආසන්න මුහුදු සීමාවේ ඊයේ (04) දින සිදුවූ මෙම නෞකා විනාශය පිළිබඳ රජය දැනුවත්ව සිටියත් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටු කිරීමේදී බාධාවක් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, එම සිද්ධියෙන් මියගිය ඉරාන ජාතිකයන්ගේ මෘත දේහ ගාල්ල කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇති අතර ඒවා තැන්පත් කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් අඩි 40ක කන්ටේනර් රථ ඉල්ලා ඇති බවද ඔහු පැවසීය. ඒ පිළිබඳව රජය අවධානය යොමු කරනු ඇතැයිද ඔහු අපේක්ෂා පළ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳ රජය දැනුවත් නොවීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවන්නේ කෙසේදැයිද මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button