
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වෙයි – ඉරානය, ඊශ්‍රායලය සහ ලෙබනනයෙන් නවතම තතු
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර ආරම්භ වී අදට දින 6ක් ගතව ඇති අතර, ඒත් සමඟ මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඉරානය, ඊශ්‍රායලය සහ ලෙබනනය ඇතුළු රටවල් කිහිපයකම ආරක්ෂක තත්ත්වය දැඩි වී ඇති අතර විවිධ ප්‍රහාර, අනතුරු ඇඟවීම් සහ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳ නවතම තොරතුරු පහතින් දැක්වේ.
12.23 PM – ජෝර්දාන දේශසීමාව අසල සයිරන්
ඊශ්‍රායලයේ ජෝර්දාන දේශසීමාවට ආසන්න ප්‍රදේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද නිකුත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
12.00 PM – ලෙබනනයට ප්‍රහාර තවත් වේගවත්
ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනය ඉලක්ක කරමින් සිදුකරන ගුවන් ප්‍රහාර තවත් තීව්ර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
11.50 AM – ටෙහෙරානයේ ප්‍රබල පිපිරීම්
ඉරානයේ අගනුවර ටෙහෙරාන් සහ ඒ අවට නගර කිහිපයක ප්‍රබල පිපිරීම් සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.
11.45 AM – බේරූට් නගරයට බෝම්බ ප්‍රහාර
ලෙබනනයේ බේරූට් නගරයේ හිස්බුල්ලා සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව බෝම්බ ප්‍රහාර මාලාවක් සිදුකර අවසන් කර ඇති බව වාර්තා වේ.
11.43 AM – දකුණු ලෙබනනයෙන් ජනතාව ඉවත් කිරීමට අනතුරු ඇඟවීම
දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට වහාම ලිටානි ගඟෙන් උතුරට පිහිටි ප්‍රදේශවලට ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නැවතත් දැනුම් දී ඇත.
11.33 AM – හමාස් ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය
ලෙබනනයේ බෙඩ්ඩාවි ප්‍රදේශයේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරක නිවසක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වසීම් අතල්ලා අල්-අලි සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
11.25 AM – ටෙහෙරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර
ඊශ්‍රායල හමුදාව පවසන්නේ ටෙහෙරාන් නගරයේ රජයට අයත් වැදගත් යටිතල පහසුකම්, ආරක්ෂක අංශ මූලස්ථාන සහ සන්නිවේදන මධ්‍යස්ථාන ඉලක්ක කරමින් විශාල ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බවයි.
11.22 AM – ඊශ්‍රායල ගුවන් ආරක්ෂාවෙන් ඩ්‍රෝන විනාශ කරයි
ඊශ්‍රායලයේ බටහිර ගලීලි ප්‍රදේශයට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානා දෙකක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කර ඇති බව වාර්තා වෙයි.
10.55 AM – අතරමං වූ මගීන්ට විශේෂ ගුවන් ගමන්
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් ගුවන් සේවය විසින් ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
10.45 AM – කැනඩාවෙන් යුද සහභාගීත්වය පිළිබඳ ප්‍රකාශයක්
මැදපෙරදිග ගැටුම් තත්ත්වය උත්සන්න වුවහොත් කැනඩාවට හමුදා සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ නොහැකි බව එරට අගමැති මාර්ක් කාර්නි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
10.19 AM – දොහා හි පදිංචිකරුවන් ඉවත් කිරීම
කටාර් රාජ්‍යයේ දොහා නගරයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පදිංචිකරුවන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
09.20 AM – ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
අද අලුයම ඉරානයෙන් ඊශ්‍රායලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
කෙසේවෙතත්, එම ප්‍රහාර හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.
08.55 AM – කටාර් හි ආරක්ෂක පියවර
දොහා නගරයේ අමෙරිකානු තානාපති කාර්යාලය අවට පදිංචිව සිටින පුද්ගලයින් තාවකාලික ආරක්ෂක පියවරක් ලෙස ඉවත් කර සුදුසු නවාතැන් පහසුකම් සපයා ඇති බව කටාර් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
07.55 AM – කුවේට් ප්‍රහාරයෙන් මියගිය සොල්දාදුවන්
කුවේට් හි සිදු වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය පස්වන සහ හයවන සොල්දාදුවන්ගේ අනන්‍යතාවය අමෙරිකානු පෙන්ටගනය තහවුරු කර තිබේ.
07.04 AM – තෙල් නෞකාව අසල පිපිරීමක්
කුවේට් වෙරළට ඔබ්බෙන් මුහුදේ තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක් සිදුව ඇති අතර එමගින් තෙල් කාන්දුවක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) පවසයි.
06.25 AM – සයිප්‍රසයේ හමුදා කඳවුරට ප්‍රහාරය ගැන තොරතුරු
සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් ඉලක්ක කර එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරානයෙන් දියත් නොකළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත.
04.17 AM – ඉරානයේ බුකන් නගරයට බෝම්බ හෙළීම
වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
03.45 AM – ට්‍රම්ප්ගේ මිලිටරි ක්‍රියාමාර්ග සීමා කිරීමට යෝජනාව පරාජය
ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනයන මිලිටරි ක්‍රියාමාර්ග සීමා කිරීමට අමෙරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත්ව ඇත.
02.31 AM – කටාර් ඉරානයෙන් ඉල්ලීමක් කරයි
සිය රටට එල්ල වන ප්‍රහාර වහා නතර කරන ලෙස කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි ඉරානයෙන් ඉල්ලා ඇත.
01.02 AM – ඉරාකය පුරා විදුලිය බිඳවැටේ
ඉරාකය පුරා විදුලිබල පද්ධතිය බිඳවැටී ඇති බව එරට විදුලිබල අමාත්‍යාංශය පවසයි.
විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව ඉරාක ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.



