ප්‍රධාන පුවත්Tech

ශ්‍රී ලංකා පොලිස් යෙදවුමෙන් SOS සේවාවක් ?

හදිසි අවස්ථාවකදී පොලීසිය වෙත කඩිනමින් තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිස් යෙදවුම හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

“Sri Lanka Police App” ලෙස හඳුන්වා ඇති මෙම ජංගම යෙදවුම සඳහා ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිස් යෙදවුමේ SOS පහසුකම

ශ්‍රී ලංකා පොලිස් යෙදවුම තුළ ඇතුළත් SOS බොත්තම තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් හදිසි අවස්ථාවක් පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමට හැකියාව පවතී.

එහිදී අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමේ පහසුකමද පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

119 හදිසි ඇමතුම් අංකය හරහා පොලීසිය දැනුවත් කිරීමේ සාමාන්‍ය ක්‍රමයට අමතරව, මෙම යෙදවුම භාවිතයෙන්ද අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාදිය හැකිය.

දරුවෙකු අනතුරකට හෝ කිසියම් කරදරකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අවස්ථාවකදී වුවද යෙදවුම ඔස්සේ පොලීසිය දැනුවත් කළ හැකි අතර, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට පොලීසිය කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

ජාතික හැඳුනුම්පත ඇති දරුවන්ටත් ලියාපදිංචි විය හැකියි

Play Store ඔස්සේ “Sri Lanka Police App” වෙත පිවිස ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර, ජාතික හැඳුනුම්පතක් හිමි දරුවන්ටද මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම යෙදවුම අවභාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

2025 වසර තුළ 119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට වැඩි පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button