ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා–ඉන්දියා වෙළෙඳ සබඳතා පුළුල් කිරීමට සාකච්ඡා

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර වැදගත් සාකච්ඡාවක් ඊයේ (27) වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වුණි.

මෙම හමුව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා උපදේශක Maitrey Kulkarni මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අමාත්‍යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සහ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාද එක්ව සිටියහ.

සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු තවදුරටත් පුළුල් කිරීම, ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම, නව ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒවා දිරිමත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳ අවධානය යොමු විය. එමෙන්ම සමුපකාර ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සංවාද පැවැත්වුණි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා විවිධ ප්‍රදර්ශන සහ වෙළෙඳ අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් තේ සහ ඇඟලුම් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන අතර, ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ ඇඟලුම් සඳහා ඉන්දියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, ශ්‍රී ලංකා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සහ ඉන්දියාවේ NCL ආයතනය අතර සහයෝගීතා ගිවිසුමක් පිහිටුවීම පිළිබඳවද සාකච්ඡා විය. මෙය සෘජු සැපයුම් සම්බන්ධතාවයකට සීමා නොවී පුළුල් සහයෝගීතා රාමුවක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇති බව ඉන්දීය පාර්ශ්වය පෙන්වා දුන්නේය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ තත්ත්වය සහ මිල පාලනය පිළිබඳවද විශේෂ අවධානය යොමු විය. සහල් මිල පාලනය කර තිබුණද සම්බා වැනි විශේෂ සහල් වර්ගවල හිඟයක් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.

තවද, රජයට සහල් මෙට්‍රික් ටොන් 300,000ක් පමණ කළමනාකරණය කිරීමට හැකි නම් මිල ස්ථායිකරණය කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඉන්දීය පාර්ශ්වය පෙන්වා දුන්නේ, ඉන්දියාවේ ගොවීන්ගේ ආදායම ආරක්ෂා කිරීම සඳහා අවම සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම සිදුකරන බවයි. එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ පනත යටතේ අධික තොග රැස්කිරීම් පාලනය කරමින් වෙළෙඳපොළ ස්ථාවරතාව පවත්වාගෙන යන බවද සඳහන් විය.

මීට අමතරව, ෆුඩ් කෝපරේෂන් ඔෆ් ඉන්දියා (FCI) ආයතනය සතු විශාල ගබඩා පද්ධතිය පිළිබඳවද ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා පාර්ශ්වය දැනුවත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button