
දරුවන් අතරින් වසරකට නව පිළිකා රෝගීන් 900ත් 1,000ත් අතර පිරිසක්
උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයට අයත් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන් අතරින් වසරකට 900ත් 1,000ත් අතර නව පිළිකා රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගන්නා බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
දරුවන් අතර බහුලව හඳුනාගන්නා පිළිකා
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ දරුවන් අතර වැඩි වශයෙන් හඳුනාගැනීමට ලක්වන පිළිකා අතර ලේ පිළිකාව හෙවත් ලියුකේමියාව, වසා ග්‍රන්ථි ආශ්රිත පිළිකාව වන ලිම්ෆෝමාව, මොළය ආශ්රිත පිළිකා, අස්ථි ආශ්රිත පිළිකා සහ ඇස් ආශ්රිත පිළිකා ප්‍රධාන වන බවය.
කල්තියා හඳුනාගැනීම වැදගත්
එහිදී වෛද්‍යවරයා පැවසුවේ සෑම පිළිකාවක්ම කල්තියා හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිකාර ලබාදීමෙන් පිළිකාව සුවකර ගැනීමට ඉතා ඉහළ හැකියාවක් පවතින බවය.
සැප්තැම්බර් මාසය ළමා පිළිකා දැනුවත් කිරීමේ මාසයයි
ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර ඇතිවන පිළිකා සහ ඒ සඳහා වන ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ලොව පුරා සැප්තැම්බර් මාසය “ළමා පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය” ලෙස සමරනු ලබයි.



