
ජාතික හා කලාපීය අවශ්‍යතා ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ජාතික හා කලාපීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සිය තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දෙරට අතර ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුව වීමද විශේෂත්වයකි.
විෂ මත්ද්‍රව්‍ය මැඬලීමට ඉන්දීය සහාය අපේක්ෂා කරයි
ශ්‍රී ලංකාව මේ වනවිට ආරම්භ කර ඇති විෂ මත්ද්‍රව්‍ය මැඬලීමේ ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බැවින්, එම උවදුර මැඬලීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇත.
ජාතික හා කලාපීය අවශ්‍යතා සැලකිල්ලට ගන්නා බව ජනපති කියයි
පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දුෂ්කර අවස්ථාවලදී ඉන්දියාව ලබාදුන් සහාය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමක් සිදු කළේය.
ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බවත්, ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වෙමින් බවත් පැවසීය.
ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමටද ලක්විය.
නව ආරක්ෂක ගිවිසුම් තුනක්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දීය හමුදාව ලබාදුන් දායකත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමක් සිදු කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි ධාරිතා සංවර්ධනය සහ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා අද හුවමාරු කරගත් නව ගිවිසුම් වැදගත් වනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇත.
ඒ අනුව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් ලෙස නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීම ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේ සිදු කෙරිණි.
එම ගිවිසුම් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුමක්ද ඇතුළත්ය.
ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම මෙන්ම ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ශිෂ්‍යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුමද එහිදී හුවමාරු කරගෙන තිබේ.
ධීවර ගැටලුව පිළිබඳවත් අවධානය
“අසල්වැසියා පළමුව” යන විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් පසුගිය දෙවසර තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ගනු ලබු පියවර ඇගයීමට ලක් කළේය.
මේ අතර දෙරට අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා ධීවරයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබා ගැනීම සහ ගැටලුව විසඳා ගැනීම සඳහා දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු විය.
ඉන්දීය ප්‍රදානයෙන් බේලි පාලම් තුනක්
ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඉදිකළ බේලි පාලම් තුනක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව අත්‍යවශ්‍ය මාර්ග සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දියාව ලබාදුන් පුනරුත්ථාපන ආධාර වැඩසටහනේ කොටසක් ලෙස මෙම බේලි පාලම් ඉදිකර තිබේ.
පන්සීයගම – කුරුණෑගල, කැබැල්ලෑව – කුරුණෑගල සහ පලුගමම් – මඩකලපුව යන මාර්ගවල ඉදිකළ එම පාලම් මෙලෙස ජනතා අයිතියට පවරා ඇත.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
එමෙන්ම ඉන්දියානු ගුවන් හමුදා උප මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් Ashutosha Dixit, නාවික හමුදා උප මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar, යුද හමුදා උප මාණ්ඩලික ප්‍රධානී ලෙෆ්ටිනන් ජෙනරාල් Sandeep Jain සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සම ලේකම් Prasanna Shrivastava ඇතුළු ඉන්දියානු ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



