ප්‍රධාන පුවත්

ශබ්ද විකාශන භාවිතයට පොලීසියෙන් දැනුම්දීමක්

ශබ්ද විකාශන භාවිතයට පොලීසියෙන් දැනුම්දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට හෝ අවට පදිංචිකරුවන්ට බාධාවක් ඇති නොවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශබ්ද දූෂණය හේතුවෙන් ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් ඇතුළු පිරිස් බරපතළ සෞඛ්‍ය හා මානසික ගැටලුවලට මුහුණදෙන තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

ශබ්ද විකාශන භාවිතයට නීතිමය සීමා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 යටතේ ලබාදී ඇති නියෝගයට අනුව මහජනතාවට පීඩාවක් වන අයුරින් ශබ්ද උපකරණ භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ ශබ්ද විකාශන භාවිතයට අවසර නැහැ

සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදේ.

කෙසේ වෙතත්, ආගමික හෝ විශේෂ අවස්ථාවලදී අදාළ කරුණු සලකා බලා නීත්‍යානුකූල අවසර ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

අවසර ඇති දිනවල භාවිත කළ හැකි වේලාවන්

පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවලදී සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වා ශබ්ද විකාශන භාවිත කළ හැකිය.

සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01.00 දක්වාත්, ඉරිදා දිනවල අලුයම 12.30 දක්වාත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව හිමි වේ.

එහෙත් මෙම කාලසීමා බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන බව පොලීසිය අවධාරණය කරයි.

ශබ්දය පරිශ්‍රයට සීමා කිරීම අනිවාර්යයි

අවසර ලබාදී තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා වන ආකාරයෙන් පවත්වාගෙන යාම අනිවාර්ය බව පොලීසිය පවසයි.

අවසර ලබාදී ඇති අවස්ථාවලදී නියම කර ඇති කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවන බවද සඳහන් වේ.

පැමිණිලි ලැබුණොත් නීතිමය ක්‍රියාමාර්ග

මහජන පැමිණිල්ලක් ලැබී ශබ්දය පීඩාවක් බව තහවුරු වුවහොත් එම ශබ්දය වහාම නතර කරන ලෙස දැනුම් දෙන බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් ලබාදෙන දැනුම්දීම නොතකා අධික ශබ්දයෙන් තවදුරටත් කටයුතු කරන්නේ නම්, අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

118 සහ 119 අංකවලට දැනුම් දෙන්න

නීතිවිරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් සිදුකරන අධික ශබ්ද නිකුත් කිරීම් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 සහ 119 හදිසි ඇමතුම් අංක ඔස්සේ දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button