අධ්‍යාපන

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට රජයේ සූදානම මදි – ලංකා ගුරු සංගමය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජය මේ වනවිටත් ප්‍රමාණවත් සූදානමක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පෙන්වා දෙන්නේ නව ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් සඳහා සිදුකළ යුතු පුහුණු කටයුතු පවා මේ දක්වා සම්පූර්ණ කර නොමැති බවයි.

ලබන වසරේ පළමු සහ හය ශ්‍රේණිවලට නව ප්‍රතිසංස්කරණ

රජයේ සැලසුමට අනුව ලබන වසරේ සිට පළමු ශ්‍රේණිය සහ හයවන ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිතය.

කෙසේ වෙතත්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසි සැලසුමක් මේ වනවිටත් ක්‍රියාත්මක කර නොමැති බව ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කරයි.

ගුරු පුහුණුව තවමත් මන්දගාමීයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර ගුරුවරුන් පුහුණු කිරීම ඇතුළු මූලික කටයුතු සම්පූර්ණ කළ යුතු වුවද, එම ක්‍රියාවලිය තවමත් මන්දගාමීව සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලිං මහතා වැඩිදුරටත් මෙලෙස සඳහන් කළේය.

“මේ කියන ප්‍රතිසංස්කරණ ලබන අවුරුද්දේ ගෙනාවට, 1 වසර සහ 6 වසර ලබන අවුරුද්දේ ප්‍රතිසංස්කරණ කොහොමටත් එන්නේ. නමුත් තවමත් ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම මන්දගාමීව සිදුවෙන්නේ. මේ ප්‍රතිසංස්කරණ පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙනාපු ප්‍රතිසංස්කරණවල දිගුවක් මේ තියෙන්නේ. ක්‍රියාත්මක නොකර අතෑරුණු ප්‍රතිසංස්කරණවල දිගුවක් මේ තියෙන්නේ. ඒ වගේම අපි දැක්කේ නෑ පහුගිය දවස්වල ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිසමට සඳහන් කරලා තිබ්බා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විශේෂයෙන්ම ප්‍රතිපත්ති රාමුවක් හදන්න කියලා. අපි දන්නෑ ජාතික අධ්‍යාපන කොමිසම තවම මේක හදලා ඉවරද කියලා. තවමත් ඒක ජනතාව අතරට ඇවිල්ලත් නෑ. කතා කරලත් නෑ.කිසිම සැලැස්මක් නැතිව පහුගිය ආණ්ඩු ගෙනාපු ප්‍රතිසංස්කරණ තමයි මේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ සඳහා තියෙන සුදානමවත් තවම පේන්න නෑ. මේක විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ. පවතින අධ්‍යාපනය තුළ ප්‍රායෝගික අර්බුද ගණනාවක් තියෙද්දි ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන ප්‍රතිසංස්කරණනම් ගේන්නේ ඒක පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි”

ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්ති රාමුව ගැනත් ගැටලුවක්

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විශේෂ ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන ලෙස ජාතික අධ්‍යාපන කොමිසමට දැනුම් දී තිබුණද, එම රාමුව මේ වනවිට සකස් කර අවසන් කර තිබේද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් නොමැති බවද ලංකා ගුරු සංගමය පවසයි.

එම ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ජනතාව අතර තවමත් සාකච්ඡාවක් හෝ දැනුවත් කිරීමක් සිදුව නොමැති බවද එහිදී පෙන්වා දී තිබේ.

පවතින අධ්‍යාපන ගැටලු විසඳිය යුතු බවට අවධාරණය

පවතින අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රායෝගික ගැටලු රැසක් පවතින අවස්ථාවක, එම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ප්‍රමාණවත් සැලසුමක් සහ සූදානමක් නොමැතිව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම විශාල අර්බුදයකට හේතුවිය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button