ප්‍රධාන පුවත්

විරෝධතාවකට බාධා කල සිද්ධියට පොලීසිය සමාව ඉල්ලයි

2022 ආර්ථික අර්බුද සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරුන් පිරිසක් සංවිධානය කළ සාමකාමී විරෝධතාවකට පොලීසිය බාධා කළ බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ.

මෙම සිද්ධියට අදාළව තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන් වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.

එහිදී වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී. වෙදසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ගාල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවයි. එමෙන්ම ලිඛිත සමාව අයැදීමක්ද අධිකරණයට භාරදීමට කටයුතු කරන බව ඇය දැනුම් දී තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා ඇත්තේ, එම සමාව තම සේවාදායකයින් භාරගන්නා බවයි.

ඉන් අනතුරුව අදාල සමථය සටහන් කරගත් අධිකරණය, පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කර තිබේ.

අධිකරණය හමුවේ අදහස් දක්වමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

“එදා සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම්කාර නීතිඥවරු පැමිණිලි කළේ. ඔවුන් ගාල්ල ඉඳලා මේ නඩුවට ඇවිල්ලා තියෙනවා. මේ නඩුව සමථයට පත් කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ගැන අගය කරන්න. මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ” යනුවෙන් සඳහන් කර තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් වන්නේ, 2022 ජූලි 6 වනදා ගාල්ල කොටුව අසල නීතිඥවරුන් පිරිසක් විරෝධතා පුවරු රැගෙන සාමකාමී විරෝධතාවක නිරතව සිටියදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධතාවට බාධා කර පුවරු ඉරා දැමූ බවයි.

ඒ හරහා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button