
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනමත විචාරණයක් ඉල්ලයි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.
එහි සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපතිවරයා මෙතෙක් පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම් උල්ලංඝනය කිරීමක් බවයි. ඔහු මේ අදහස් පළ කළේ ටීවී දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට එක්වෙමිනි.
දැනට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ විනිසුරු පුරප්පාඩු අටක් පවතින බවත්, එම තනතුරු සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල වගකීමක් වුවද මාස ගණනාවක් එය ප්‍රමාද වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මීට සති කිහිපයකට පෙර රජයේ පාර්ශ්වයන් එවැනි සැලැස්මක් නොමැති බව ප්‍රකාශ කළ බවත්, නීතීඥ සංගමයේ අදහස් විමසීමකින් තොරව මෙවැනි යෝජනාවක් ඉදිරියට ගෙන ඒම සැකසහිත ක්‍රියාවලියක් බවටත් රජීව් අමරසූරිය මහතා චෝදනා කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි සංශෝධනයක් අවශ්‍ය නම් පළමුව ඒ පිළිබඳව විවෘත සංවාදයක් පැවැත්විය යුතු අතර, එය ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාවගේ අදහස ජනමත විචාරණයක් මඟින් විමසීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය බවයි.
මේ අතර, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනාව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇත.



