
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන සජිත්ගෙන් විවේචනයක්
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම මේ වනවිට රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති කරුණක් බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොහොර සහනාධාරය ලබාදීම, වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය කිරීම සහ බන්ධනාගාරවල පවතින ගැටලු විසඳීම වෙනුවට මේ වනවිට රටේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාව වී ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ අද (09) රුවන්වැල්ල, කන්නන්තොට රොෂානා ශාලාවේ පැවැති සමගි වනිතා බල මණ්ඩලයේ රුවන්වැල්ල ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් ජනතාවගේ ගැටලු විසඳීමට, දුප්පත්කම තුරන් කිරීමට හෝ විරැකියාවට විසඳුම් ලබාදීමට හැකියාවක් නොලැබෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
එවැනි ක්‍රියාමාර්ගයක් හරහා රජය අපේක්ෂා කරන පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය නොවන බවත්, ඒ වෙනුවට එක් පක්ෂයක් විසින් මුළු රටම පාලනය කරන වැඩපිළිවෙළක් නිර්මාණය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමඟින් තනි පක්ෂ පාලනයක් බිහිවී ප්රජාතන්ත්රවාදය දුර්වල වීමත්, අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වීමත් සමඟ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බිඳ වැටිය හැකි බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එක් පක්ෂයක් රාජ්‍යය සම්පූර්ණයෙන් ග්‍රහණයට ගැනීමේ එක් පියවරක් ලෙස විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම හැඳින්විය හැකි බවත්, පසුගිය කාලයේ යෞවන සමාජ සහ සිවිල් ආරක්ෂක කමිටුවලට පවා පැලවත්තේ පක්ෂ කාර්යාලයේ තීරණ අනුව තනතුරු පත් කළ බවත් ඔහු පැවසීය.
ප්රජාතන්ත්රවාදය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ වත්මන් රජය මේ වනවිට අධිකරණයට පවා බලපෑම් සිදුකරන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
කාන්තාවන්, දරුවන්, පුරවැසියන්, වැඩිහිටියන් ඇතුළු අවදානමට ලක්වන පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාව තිබුණද රජය එවැනි පියවරක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.
දැනට මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන නොමැති කාන්තා, ළමා, වැඩිහිටි සහ අවදානම් පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුවට ජනවරම හිමිවූයේ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා නොව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා බවත්, මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රටේ ජනතාවගෙන් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් දුප්පත්භාවයට පත්ව ඇති බවත්, රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බැවින් ඒවා පෞද්ගලික ෆාමසිවලින් ලබාගැනීමට සිදුව ඇති බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා, මෙවැනි ගැටලු රැසක් තිබියදී රජය සිදුකරමින් සිටින්නේ තම පක්ෂයේ ඒකාධිකාරය රට තුළ ස්ථාපිත කිරීම බවද චෝදනා කළේය.



