ප්‍රධාන පුවත්

ආදිවාසී අයිතිවාසිකම් සුරැකීමට රජයේ දැඩි කැපවීම – හරිනි අමරසූරිය

ආදිවාසී අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

වසර ගණනාවක් තිස්සේ ආදිවාසී ජනතාව විසින් ඉල්ලා සිටි ආදිවාසී පනත මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත්, ආදිවාසී ජනතාව ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර එහි ඉදිරි කටයුතු කඩිනමින් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

“ආදිවාසී පාරම්පරික වින්නඹුමාතාවන්ට ගරු කිරීම: ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම” යන තේමාව යටතේ දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ පැවැති “ලෝක ආදිවාසී දිනය 2026” සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“ආදිවාසී වැදි ජනතාව කියන්නේ පරිසරය සමඟ සමගාමීව ජීවත්වෙමින් පරිසරයම තම නිවහන කරගත් ප්‍රජාවක්. ගැබිනි සතුන් නොමැරීම, මී මැසි වද කඩද්දී මුළු වදයම විනාශ නොකිරීම වැනි සරල නමුත් ගැඹුරු පරිසර හිතකාමී සිරිත් විරිත් ඔවුන්ගේ ජීවන රටාව තුළ මුසු වී තිබෙනවා.

හිටපු ආදිවාසී වැදි නායක තිසාහාමි ඇත්තන්ට වරක් රාජ්‍ය නායකයෙකු විසින් නිල මැදුරක් සහ ඉඩකඩම් ලබා දීමට කළ ආරාධනාව, වැදි ජන සංස්කෘතියේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා ප්‍රතික්ෂේප කළා. පෞද්ගලික වරප්‍රසාද පසුපස යන සමාජයක එතුමා කළ ඒ කැපකිරීම අප සැමටම මහඟු ආදර්ශයක්.”

සංවර්ධනය යනු ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීමක් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක් බව අවධාරණය කළාය.

විවිධ රජයන් සමඟ මීට පෙර ආදිවාසී පනත සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් එය ක්‍රියාත්මක නොවූ බවත්, එම පනත සම්මත කරගැනීමේ කටයුතු වත්මන් රජය යටතේ ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ මැදිහත්වීම මත අදාළ පනත් කෙටුම්පත මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවද ඇය සඳහන් කළාය.

මීට අමතරව, පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආදිවාසී වැදි ජනතාවට වනාන්තරයට ඇතුළුවීමට අවසර ලබාදීම, ඔවුන් ලියාපදිංචි කිරීම සහ නීත්‍යානුකූල හැඳුනුම්පතක් ලබාදීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එම පියවර හරහා ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු රැසකට ස්ථීර විසඳුම් ලබාදීමට හැකි වනු ඇති බවත්, මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ආදිවාසී වැදි ජනතාවට සහන සැලසීමේ කටයුතුද මේ වනවිට කඩිනම් කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

උත්සවයේදී අදහස් දැක්වූ ආදිවාසී වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ,

“රටක පැවැත්මට නීති අවශ්‍යයි. නමුත් ඒ නීති සකස් කරද්දී රටේ ජනතාව ගැන, ජාතීන් ගැන වගේම සංස්කෘතීන් ගැන අවධානයෙන් යුතුව ඒවා සකස් කරන්න ඕන. අපි පැවති රජයන් බොහෝමයක් සමඟ අපිට ඇති වී තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළාට නිසි විසඳුමක් ලැබුණේ නැහැ. වත්මන් රජය ආවට පස්සෙත් අපි අපේ ගැටලු ඉදිරිපත් කළා. නීති සකස් කරද්දී අපේ අදහස් සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button