උණුසුම් පුවත්

විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීම ගැන මූලික විමර්ශන වාර්තාව එළියට

විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ වාර්තාව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීම සිදුවූ ආකාරය

පසුගිය 17 වැනිදා පෙරවරු 11.43ට පමණ සිදුවූ මෙම විදුලි බිඳවැටීම ආරම්භ වී තත්පර 4.1ක් ඇතුළත සමස්ත ජාතික විදුලි පද්ධතියම අක්‍රීය වී ඇති බව එම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ජාතික පද්ධතියට එක් කරමින් තිබූ මෙගාවොට් 187ක විදුලි ධාරිතාවක් මිලි තත්පර 450ක් ඇතුළත හදිසියේ අහිමි වී තිබේ.

මේ හේතුවෙන් විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 48.75 දක්වා පහත වැටී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්‍රමවේදයේ (Under Frequency Load Shedding – UFLS) අදියර පහම එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව මෙගාවොට් 449.2ක විදුලි ධාරිතාවක් පද්ධතියෙන් විසන්ධි වී ඇති අතර එය බිඳවැටීමට පෙර පැවති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් සියයට 39.6කි.

කෙසේ වෙතත්, මෙම ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක වුවද ජාතික විදුලි පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටීම වළක්වා ගැනීමට හැකි වී නොමැත.

බලාගාර කිහිපයක ජනන ඒකක අක්‍රීය වෙයි

නොරොච්චෝලේ බලාගාරයට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව සහ ලක්ෂපාන ඇතුළු ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකකද ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් අක්‍රීය වී ඇති බව වාර්තාවේ දැක්වේ.

විදුලි සැපයුම යළි ස්ථාපිත කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම වහාම පියවර ගෙන ඇති අතර ඒ සඳහා ප්‍රධාන පද්ධති හතරක් භාවිත කර තිබේ.

මහවැලි පද්ධතිය යටතේ කොත්මලේ සහ වික්ටෝරියා බලාගාරද, ලක්ෂපාන පද්ධතිය යටතේ නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර බලාගාරද ඒ සඳහා යොදාගෙන ඇත.

එසේම සමනලවැව සහ දකුණු පද්ධතිය යටතේ සමනලවැව හා කුකුළේගඟ බලාගාරද, කොළඹ පද්ධතිය යටතේ කැලණිතිස්ස පද්ධතියද විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට යොදාගෙන තිබේ.

එදින පස්වරු 4.58 වන විට සියලුම ප්‍රධාන උපපොළවල් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති අතර සමස්ත ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය පහයි මිනිත්තු 15ක කාලයක් ගතවී තිබේ.

විදුලිය යළි ලබාදීමේදී තාක්ෂණික ගැටලු

විදුලි පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ජනන බලාගාරවල තාක්ෂණික දෝෂ සහ මෙහෙයුම් ප්‍රමාදයන් ද වාර්තා වී ඇති බව විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

විශේෂයෙන් යුගදනවි බලාගාරයේ ජනන ඒකකයක් නැවත ක්‍රියාත්මක කිරීමේදී එහි උපකාරක පද්ධතියක ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ප්‍රමාදයක් සිදුව තිබේ.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් විදුලි ධාරිතාව හදිසියේ අහිමි වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කර නොමැත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button