
විදුලිබල මණ්ඩල ස්වේච්ඡා විශ්‍රාමිකයන්ට වන්දි ගෙවීම ප්‍රමාදයි – සේවකයින් දැඩි අර්බුදයක
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමඟ ක්‍රියාත්මක කළ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගත් සේවකයින්ට නියමිත වන්දි මුදල් මෙතෙක් ගෙවා නොමැති බව ඔවුන්ගේ විශ්‍රාම එකමුතුව පවසයි.
එම එකමුතුව සඳහන් කළේ, පසුගිය මාර්තු 09 වන දින මණ්ඩලය අහෝසි කරන අවස්ථාවේදී, විශ්‍රාම යන්න කැමති සේවකයින්ට වන්දි මුදල් ලබා දෙන බවට රජය විසින් දැනුම් දුන්නද, මේ දක්වා එම ගෙවීම් සිදු කර නොමැති බවයි.
වන්දි මුදල් නොලැබීම හේතුවෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින්, අදාළ පිරිස මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දීර්ඝ ලිපියක්ද යොමු කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ, මුදල් නොලැබීම නිසා දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලය සමාගම් 6කට බෙදා වෙන් කර ඇති අතර, එයට අනුගත නොවන සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණි. ඒ සඳහා උපරිම රුපියල් ලක්ෂ 50ක් දක්වා වන්දි මුදලක් ලබා දෙන බවටද වාචිකව සහතික කර තිබුණි.
ඒ අනුව සේවකයින් 2,000කට ආසන්න පිරිසක් මෙම යෝජනා ක්‍රමයට අයදුම් කර, මාර්තු 09 න් පසු විශ්‍රාම ගොස් ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට හිමි වන්දි මුදල් මෙතෙක් නොලැබීම නිසා පවුල් ජීවිතය පවා අසීරු තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් පවසයි. විශේෂයෙන් එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ආර්ථික අපහසුතා හේතුවෙන් උත්සව සමරීමට පවා නොහැකිවී ඇති බවද සඳහන් කරයි.
එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් (ETF) සහ පාරිතෝෂික දීමනා වැනි ගෙවීම්ද මෙතෙක් නිදහස් කර නොමැති බවට ඔවුන් චෝදනා කරයි. වසර ගණනාවක් සේවය කළත්, නීත්‍යානුකූල මූල්‍ය ප්රතිලාභ ලබා ගැනීමට නොහැකිවීම බරපතළ අසාධාරණයක් බව ඔවුන් පෙන්වා දෙයි.
තවද, වසර 18ක සේවා කාලයක් සම්පූර්ණ කර 55 වයසට පසු විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම් ලබන බව නීතියෙන් සඳහන් වුවද, එම විශ්‍රාම වැටුප ලබා ගැනීමටද මේ වනවිට අවස්ථාව නොලැබී ඇති බවද ඔවුන් පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, අලුත් අවුරුද්දට පෙර වන්දි මුදලින් කොටසක් හෝ ගෙවීමට කටයුතු කරන බවට පැවසූවද, එය මෙතෙක් සිදු වී නොමැති බවයි.
කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුදල් බැංකුගත කිරීමට කටයුතු කරන බවට නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව ප්‍රකාශ කිරීමට සූදානම් බවත්ය.
මේ අතර, අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට උත්සාහ කළද, එය සාර්ථක නොවීය.



