
විද්‍යා ඝාතන නඩුවේ 4කට මරණ දඬුවම තහවුරු
බාලවයස්කාර පාසල් සිසුවියක අමානුෂික ලෙස අපයෝජනය කර ඝාතනය කළ විද්‍යා ඝාතන නඩුවේ, දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් අනතුරුව තීරණාත්මක තීන්දුවක් අද ප්‍රකාශයට පත් විය.
2015දී යාපනයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිවලෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් සිව්දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තහවුරු කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප කෙරිණි.
කෙසේවෙතත්, තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය නියෝග කර ඇත.
2015 මැයි මාසයේ පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසලෙන් නිවසට පැමිණෙමින් සිටි 18 හැවිරිදි විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කළ බවට මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව 2017දී විත්තිකරුවන් හත්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර, ඉන් එක් අයෙකු අභියාචනා විභාගය අතරතුර මියගොස් තිබේ.



