
ප්රධාන පුවත්
කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව යළි විවෘතයි
රොන් මඩ තැම්පත්වීම හේතුවෙන් කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව විනාඩි 30ක් විවෘත කෙරේ.
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව ඊයේ (05) විනාඩි 30ක පමණ කාලයක් සඳහා විවෘත කළ බව එහි කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ජලාශයට විශාල ප්රමාණයෙන් රොන් මඩ එක්වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ජලාශ වේල්ල අසළට රොන් මඩ ගලා ඒම සැලකිල්ලට ගනිමින්, කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්ය ආයතන දැනුවත් කිරීමෙන් අනතුරුව මඩ සොරව්ව විවෘත කළ බව ද වාර්තා වෙයි.
මෙම ක්රියාවලිය අතරතුර තත්ත්පරයට ජලය ඝනමීටර් 90ක පමණ ප්රමාණයක් පිටව ගොස් ඇත.
මේ අතර, ජල පෝෂක ප්රදේශවල පවතින වියළි කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 27.7% දක්වා පහළ බැස ඇති බව ද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.
කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව අවසන් වරට විවෘත කර ඇත්තේ 2024 වසරේදීය.



