
වර්ෂාපතනයෙන් දිස්ත්‍රික්ක 4කට රතු නිවේදන – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් අවදානමට
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා රතු නිවේදන බලපැවැත්වේ.
මීට අමතරව, දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා අදියර දෙක යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම, දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක් සඳහා අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසද එම සංවිධානය අනතුරු අඟවා ඇත.
පවතින අධික වර්ෂාව හේතුවෙන් පස් තෙත්වී ඇති බැවින් නායයෑම්, ගල් වැටීම් හා බිම් සෙලවීම් ඇතිවීමේ හැකියාව පවතින අතර, ජනතාව අවධානයෙන් සිටින ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.
“මෙම නිවේදන අද දිනයේදී ලැබෙන වර්ෂාපතනයත් සමඟ යම් ආකාරයට වෙනස්වීමට ලක්විය හැකියි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ නායයෑම් සක්‍රීයවීමට ඉඩකඩ බොහෝමයක්ම වැඩියි. සිදුවෙච්ච නායයෑම් මාර්ග දිගේ තැන්පත් වෙච්ච පස් තියෙනවා. ගල් තියෙනවා. මේ වර්ෂාපතනයත් සමඟ ඒ ගලා ඒමේ හැකියාව වැඩිදුරටත් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව අතිශයෙන්ම විමසිලීවන්ත විය යුතුයි. එම නිසා එම ස්ථාන පහුවෙන විට ඉතාමත් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් ආකාරයක වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවන්නේ නම් එම ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. “



