ප්‍රධාන පුවත්

විදේශීය පරවියන් 64ක් සමඟ දෙදෙනෙක් මාට්ටු

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පරවියන්ගේ වටිනාකම රුපියල් 3,431,400ක් වන අතර, සැකකරුවන් ඊයේ (25) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ “හරිත මාවත” (Nothing to Declare) ඔස්සේ ඒවා පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ඔවුන් ඉතාලියෙන් මෙම පරවියන් මිලදී ගෙන ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන සහ සත්ත්ව නීරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් මෙම පරවියන් මෙරටට රැගෙනවිත් ඇති අතර, ඒවා කුඩා යකඩ කූඩුවල බහා ගමන් මලු හයක තුළ සඟවා තිබූ බව රේගුව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, එම විමර්ශන අවසන් වීමෙන් පසු පරවියන් නැවත ඉතාලිය වෙත යැවීමට නියමිත බව ද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button