අද විශේෂ

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අද

අද (26) කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ලොව පුරා සැමරේ. මෙවර එහි තේමාව වන්නේ “තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක්” යන්නයි.

මෙම දිනයට සමගාමීව හෙට (27) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් වනස්පති ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ගැසට් පත්‍රයට අත්සන් තැබීමට නියමිතය.

ඒ අනුව තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව යන කඩොලාන ප්‍රදේශ රක්ෂිත ලෙස නම් කිරීමට සැලසුම් කර තිබේ.

“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ පසුගිය වසරේදී ද පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 67කට ආසන්න කඩොලාන භූමි ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ දැනට කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500ක් පමණ වන අතර එහි විශාලතම ව්‍යාප්තිය පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබේ. මෙරටින් කඩොලාන විශේෂ 11ක් පමණ හඳුනාගෙන ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

කඩොලාන පරිසර පද්ධති මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වෙරළ ඛාදනය අවම කිරීම, කාබන් ගබඩා කිරීම සහ ධීවර කර්මාන්තයට අත්‍යවශ්‍ය වාසස්ථාන සැපයීම වැනි පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ රැසක් ලැබෙන බැවින් එහි සංරක්ෂණය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රමුඛතාවක් ලබා දී ඇත.

UNESCO සංවිධානය 2015 වසරේදී සෑම වසරකම ජූලි 26 දින කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ කඩොලාන සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ තිරසර කළමනාකරණයට ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්ය.

මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විශේෂ දැනුවත් කිරීමේ හා සංරක්ෂණ වැඩසටහන් කිහිපයක් හෙට (27) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වීමට ද නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button