
ජංගම දුරකථනයෙන් උසස් පෙළ සිසුවියකගේ කාමරය ගිනිගනි
සීගිරිය ගලකොටුව ප්රදේශයේ නිවසක, ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබූ අවස්ථාවක සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ කාමරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පාඩම් කරමින් සිටින එම කාමරයේ, ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට සම්බන්ධ කර තිබූ අවස්ථාවේදී මෙම ගින්න හටගෙන ඇති අතර, එමගින් පොත්පත්, ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු දේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී සිසුවිය සිය මව සමඟ අසල්වැසි නිවසකට ගොස් සිට ඇති අතර, රාත්රී 10ට පමණ එකවරම මෙම නිවසේ ගින්නක් දැකගත හැකි වූ බව නිවැසියෝ පවසති.
පසුව ප්රදේශවාසීන්, පොලීසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කළ ද, කාමරයේ තිබූ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් සියල්ල අළු බවට පත්ව ඇති අතර නිවසට ද දැඩි හානි සිදුවී තිබේ.
සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් සිසුවියගේ මව සඳහන් කළේ, පස්වරුවේ ප්රදේශයට විදුලි බලය නොතිබීම හේතුවෙන් ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පොත් මේසය මත විදුලි ආරෝපණයට සවිකොට අසල්වැසි නිවසකට ගොස් සිටි බවය.
පැය කිහිපයකට පසු මෙම ගින්න හටගෙන ඇති බවත්, එමගින් සියලු දේ විනාශ වූ බවත් ඇය පැවසුවාය.
ජංගම දුරකථනය ආරෝපණය කර තිබූ ස්ථානයේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, නිවසේ වෙනත් කිසිදු ස්ථානයකින් ගින්නක් ආරම්භ වී නොමැති බව නිරීක්ෂණය වූ බවද සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇත.



