උණුසුම් පුවත්

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

 

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හරහා මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියම කළ අධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද දැනුම් දී තිබේ.

 

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි අනෙකුත් විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

 

 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට වෙඩි තැබීමේ නඩුව

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

 

කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ අභියාචනාධිකරණය පසුව විත්තිකරුවන් තිදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය.

 

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා අවසන් විය. එහිදී විත්තිකරුවන් තිදෙනාට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

 

### විදේශගතව සිටින බව අධිකරණයට දැනුම් දෙයි

 

නඩුව අද කැඳවූ අවස්ථාවේ ප්‍රේමලාල් ජයසේකර මහතා අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහිව විවෘත වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button