ප්‍රධාන පුවත්

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නොවැම්බර් 28 සිට ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව පැවැත්වේ

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නොවැම්බර් 28 සිට ශ්‍රී ලංකාවේදී – රටවල් 50ක නියෝජිතයන් 600ක් එක්වේ

 

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වැනි සංවත්සර සමරු උළෙල සහ 11 වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු රැස්වීම මෙම වසරේ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

මෙම ජාත්‍යන්තර සමුළුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරදින (24) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 

සමුළුව සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ සම්පූර්ණ පහසුකම් සැලසීමේ අරමුණින් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාල නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශ නිලධාරීන් ඇතුළත් ඒකාබද්ධ විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

 

1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ කරන ලද WBSC සංවිධානයේ 60 වැනි සංවත්සරය එය ආරම්භ වූ රටේදීම පැවැත්වීම විශේෂ සන්ධිස්ථානයක් බව සංවිධායක මණ්ඩලය අවධාරණය කරයි.

 

රටවල් 50ක නියෝජිතයන් 600කට ආසන්න සංඛ්‍යාවක්

ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කින් නියෝජිතයන් 600ක් පමණ මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට භික්ෂූන් වහන්සේලා 500 නමක් ද මෙයට එක්වීමට සැලසුම් කර ඇත.

 

බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට, භූතාන රජු ඇතුළු, ආරාධනා කිරීමටද අපේක්ෂා කෙරේ.

උත්සව වැඩසටහන් – කොළඹ සිට අනුරාධපුරය හා මහනුවර දක්වා

සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 28 දා කොළඹ පිහිටි නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

 

නොවැම්බර් 29 දා විධායක සභා රැස්වීම් සහ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ පැවැත්වෙන අතර, නොවැම්බර් 30 දා ලෝක සාමය පතා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධී අභියස විශේෂ පූජා වැඩසටහනක් සංවිධානය කර ඇත.

 

දෙසැම්බර් 01 දා රුවන්වැලි මහා සෑය සහ මහනුවර පිහිටි ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

 

සංචාරක ප්‍රවර්ධනයටත් පිටුවහලක්

වස් කාලය අවසන් වීමෙන් අනතුරුව පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලෝකයට යළි අවධාරණය කිරීමටත්, රටේ සංචාරක කර්මාන්තයට නව ගතිකත්වයක් ලබාදීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

සමුළුව ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතුව සංවිධානය කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් පැවසීය.

 

විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම සහ පිටවීම පහසු කිරීම සඳහා ගුවන් තොටුපළ තුළ විශේෂ පහසුකම් (VIP Counters) සැලසීම පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

 

එමෙන්ම, සමුළුව පැවැත්වෙන නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සොයාබලා අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

 

මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ බෞද්ධ උරුමය ලෝකයට ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button