ප්‍රධාන පුවත්

ලෝක ජනාවාස දිනයට නිවාස 5,000ක් විවෘත කෙරේ

ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් විවෘත කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

හෙට (05) දිනයට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් නිවසක් විවෘත කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම නිවාස රජය ලබාදුන් රුපියල් ලක්ෂ 10ක ආධාර සහ ප්‍රජා ශ්‍රම දායකත්වය යටතේ ඉදිකර තිබේ.

ඊට අමතරව, උතුරු හා නැගෙනහිර පළාත්වල නැවත පදිංචිකරවීමේ ව්‍යාපෘති යටතේ රුපියල් ලක්ෂ 20ක ආධාර මත ඉදිකළ නිවාසද හෙට විවෘත කිරීමට නියමිතය.

දිස්ත්‍රික්ක අනුව වැඩිම නිවාස සංඛ්‍යාවක් යාපනයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 694කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 618ක්, අම්පාරේ 402ක්, අනුරාධපුරයේ 348ක්, ගම්පහේ 341ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 200ක් ඉදිකර ඇති බව සඳහන් වේ.

මේ අතර, ලෝක ජනාවාස දිනයට සමගාමීව ජල ව්‍යාපෘති රැසක්ද ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button