ප්‍රධාන පුවත්

ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළ ගැන හඳුන්නෙත්තිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් සියයට 90ක පමණ ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සැපයුම සහ වෙළෙඳපොළ කොටස පිළිබඳ අමාත්‍යවරයා කරුණු හෙළිකරයි

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ලාෆ්ස් ගෑස් සමාගම මසකට පුරවනු ලබන්නේ ගෑස් සිලින්ඩර ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් බවයි.

වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් ඇණවුම් කර ඇති බවද ඔහු අනාවරණය කළේය. එම ඇණවුමෙන් සිලින්ඩර 35,000ක් එළැඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙරටට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

එළැඹෙන අයවැය මගින් ජනතාවට සහන රැසක් ලබාදී ඇති බව පෙන්වා දුන් ඔහු, එම සහන පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සමාජය තුළ වෙනත් මතයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවද සඳහන් කළේය.

කෙසේ වෙතත්, ගෑස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවේ වගකීම භාරගැනීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගෑස් සිලින්ඩරයේ වර්ණය කුමක් වුවත් පාරිභෝගිකයන්ට තමන් කැමති ඕනෑම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට අවස්ථාව සැලසීම රජයේ අපේක්ෂාව බවද ඔහු පැවසීය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ගෑස් සැපයුම තවදුරටත් ඉහළ නැංවිය යුතු බවත්, ඒ සඳහා ලිට්‍රෝ සමාගම හරහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සමස්ත රටේම ගෑස් අර්බුදයක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දුන් හඳුන්නෙත්ති මහතා, එම තත්ත්වය විශාල අර්බුදයක් බවට පත්කිරීමට විපක්ෂය උත්සාහ දරන බවද කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button