
ලක්ෂ 80ක රන්මාල කොල්ලකෑ සැකකරු අල්ලයි
රුපියල් ලක්ෂ 80කට ආසන්න වටිනාකමකින් යුතු රන්මාල 18ක් කොල්ලකෑ බවට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාශය පවසයි.
සැකකරු කොල්ලකෑම් සඳහා භාවිත කළ බව කියන සොරාගත් යතුරුපැදි දෙකක් සහ කොල්ලකන ලද රන්මාල 18ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 800ක් ද සොයාගෙන ඇත.
පසුගිය මාස තුනක කාලය තුළ මහරගම, හෝමාගම, මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ යන පොලිස් බලප්‍රදේශවල ස්කුටර් වර්ගයේ යතුරුපැදිවල ගමන්ගත් කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑ සිද්ධීන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී තිබූ බව පොලීසිය සඳහන් කළේය.
එම සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හෝමාගම රෝහල ආසන්නයේ අපරාධ වැළැක්වීමේ රාජකාරියේ යෙදී සිටියදී සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවතා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු භාවිත කළ යතුරුපැදිය පසුගිය මාර්තු 10 වැනිදා මහරගම පිළිකා රෝහල අසලින් සොරාගත් එකක් බවයි. එම යතුරුපැදිය යොදාගෙන රන්මාල කොල්ලකෑම් සිදුකර ඇති බවද හෙළිවී තිබේ.
මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් තවත් යතුරුපැදියක් සොරාගෙන ඇති බවත්, එයද පොලීසිය සොයාගෙන ඇති බවත් සඳහන් වෙයි.
කොල්ලකන ලද රන් ආභරණ සියල්ල මහරගම ප්‍රදේශයේ පිහිටි එකම උකස් මධ්‍යස්ථානයකට ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.



