
රුපියල එක් දිනකදී 2.7%කින් ශක්තිමත් වෙයි
පසුගිය දින කිහිපය තුළ අගය පහත වැටෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල, සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7%කින් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, 2023 මාර්තු මාසයෙන් අනතුරුව රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය මෙය බවත්, එදින ආසියානු කලාපයේ හොඳම ක්‍රියාකාරීත්වය දැක්වූ මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල නම් වූ බවත් එම වාර්තාවල සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව තිබීමත් සමඟ වෙළඳපොළ තුළ ඩොලර් අලෙවි කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව රජය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් විදේශ විනිමය වෙළඳපොළේ ඩොලර් සැපයුම වැඩිවී රුපියලේ අගය ශක්තිමත් වී ඇති බව ද සඳහන්ය.
මේ අතර, රුපියලේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් පුද්ගලික වාහන ආනයනය සඳහා අධිභාරයක් පැනවීමට රජය පියවර ගෙන තිබේ.
අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපොළට මැදිහත් වීමට මහ බැංකුවද සූදානමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.



