අධ්‍යාපන

ගුරුවරුන් 10ට අඩු ජාතික පාසලක් ඇතුලු රජයේ පාසල් 3065ක්

දිවයින පුරා ගුරුවරුන් 10 දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් පමණක් සිටින රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

2025 වර්ෂයට අදාළ එම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මේ වන විට දිවයින පුරා රජයේ පාසල් 10,047ක් පවතින අතර, ඒවා අතරින් පාසල් 3,065ක ගුරුවරුන්ගේ සංඛ්‍යාව 10ටත් අඩු බව සඳහන් වේ. එම පාසල් අතර එක් ජාතික පාසලක් ද අන්තර්ගත බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම, රජයේ පාසල් 1,645ක ළමුන්ගේ සංඛ්‍යාව 50ට අඩු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ළමුන් 50ට අඩු මෙම පාසල් අතර එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 1,644ක් ඇතුළත් වන බවත්, දත්තවල සඳහන් වේ.

තවද, ළමුන් 51ත් 100ත් අතර සංඛ්‍යාවක් සිටින රජයේ පාසල් 1,648ක් දිවයින පුරා පවතින අතර, එම සියලු පාසල් පළාත් පාසල් බවද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මේ අතර, 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේදී පළමු ශ්‍රේණිය සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වූ ළමුන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බවද අනාවරණය වී තිබේ. 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් දෙලක්ෂ 66,281 දෙනෙකු රජයේ පාසල්වලට ඇතුළත් වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button