ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ජාතික වැඩසටහනක්

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ සැලසුමේ කොටසක් ලෙස රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සඳහා වන ජාතික වැඩසටහනේ ආරම්භක පියවර ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සේවා සැපයීමේ ප්‍රමාදයන් අවම කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්ක ලෙස හඳුනාගෙන ඇත.

එහිදී, පුද්ගලයන් මත රඳා පවතින සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට පද්ධති මත පදනම් වූ නවීන රාජ්‍ය සේවා සැපයුම් ක්‍රමයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පවතින තාක්ෂණික භීතිය අවම කරමින් ඩිජිටල් කුසලතා සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා ද විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.

ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයන්ට පුහුණුව ලබාදීම සඳහා ඊ-ඉගෙනුම් පද්ධතියක් භාවිත කිරීමත්, ජංගම දුරකථන හරහා ලබාගත හැකි කෙටි වීඩියෝ පාඩම් මාලා මගින් Micro-learning ක්‍රමවේදය හඳුන්වාදීමත් යෝජනා වී තිබේ.

එමෙන්ම මෙම ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය සුදුසුකමක් බවට පත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.

කාර්යාල සහ පාසල් පරිගණක විද්‍යාගාර පස්වරු කාලයේ පුහුණු මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීම, Gamification ක්‍රමවේද යොදාගැනීම සහ ඩිජිටල් අත්සන් සහිත සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් ද එකඟතාවකට පැමිණ තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ දැනට සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීම, නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සුදුසුකම් අනිවාර්ය කිරීම සහ පාසල් හා විශ්වවිද්‍යාල විෂයමාලා ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම යන ප්‍රධාන අංශ තුනක් යටතේය.

පළමු අදියරේදී සයිබර් ආරක්ෂාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමේ පාඨමාලාවක් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා නිල විද්‍යුත් තැපෑල හා සහයෝගීතා මෙවලම් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට සැලසුම් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button