ප්‍රධාන පුවත්

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හිටපු සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (03) අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

විමර්ශනවලට අනුව, 2023 මාර්තු මාසයේදී රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ එක්ව ඩුබායි රාජ්‍යයට ගොස් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක්කටා”ගේ බිරිඳ සහ ඔහුගේ සමීපතමයෙකු හමුවී ඇතැයි අල්ලස් කොමිසම පවසයි.

එහිදී හරක්කටාට නීතිමය සහන ලබාදිය හැකි බව පවසමින් මුලින් රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩු කර අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 10ක් සහ ඉන් අනතුරුව තවත් රුපියල් කෝටි 2ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ මෙරටට ගෙන්වාගෙන ඇති බවද, සැකකරුවන් තිදෙනා ඩුබායි සිට නැවතත් එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද විමර්ශන මඟින් අනාවරණය වී ඇත.

පසුගිය ජුනි 25 දින නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ නිර්නාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවයි. හරක්කටා රැඳවුම් භාරයේ සිටියදී ඔහුට විශේෂ සහන ලබාදිය හැකි බව පවසමින් ඔහුගේ සමීපතමයන් සමඟ සම්බන්ධතා පවත්වා අල්ලස් මුදල් ලබාගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බවද එහිදී සඳහන් කෙරිණි.

විමර්ශනවලට අනුව, මුදල් ලබාගැනීමෙන් පසු පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් හරක්කටාගේ බිරිඳ විසින් මුදල් ආපසු ඉල්ලා ඇති අතර, ඉන් කොටසක් තවත් පුද්ගලයෙකු මාර්ගයෙන් ආපසු යවා ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් පසුගිය නඩු වාරයේදී ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන් අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

ඒ අනුව, අද දිනයේ මෙම නඩුව යළි කැඳවීමට නියමිත අතර සැකකරුවන් තිදෙනා මේ වනවිට අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button